ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී එරට සිටින ශ්‍රී ලාංකිකයන් පෙරේදා (06දා) සවස අමතමින්
විරුද්ධ දේශපාලන මතධාරීන් අන්තර්ජාලය ඔස්සේ රජය පිළිබඳ ගෙනියන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස තමන් විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.
ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

වසර හතළිහකට පසු ඉන්දුනීසියාවේ රාජ්‍ය නිල සංචාරයක් සඳහා ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයකුට නිල ඇරයුමක් ලැබුණේ මෙවරයි. ඒ පිළිබඳ මා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු ඉන්දුනීසියානු රජයට ස්තූතිය පුද කරනවා. අන්තර් ජාතික වශයෙන් පසුගිය දෙවසර තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමක් හා ගෞරවයක් ලැබී තිබෙනවා. මා ජනපති වූ මුල් අවුරුද්ද තුළ මෙතෙක් කිසිදු නායකයකුට නොලැබුණු තරම් නිල සංචාර සඳහා මට ඇරැයුම් ලැබුණා. එයින් පෙනෙන්නේ ශ්‍රී ලංකාවට ලෝක ප්‍රජාව දක්වන සැලකිල්ලයි. ප්‍රජාතන්ත්‍රවාදය අතින් අපි ඉහළ ස්ථාවරත්වයක් ගොඩනඟා ගෙන තිබෙනවා. රටේ නිදහස ස්ථාපිත කර තිබෙනවා.
එහෙත් අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකාව පිළිබඳ පළවන්නේ වැරැදි ප්‍රචාරයි. ඒ පසුපස ඉන්නේ දේශපාලන ප්‍රතිවාදීන්. ඔවුන්ගේ අරමුණ වන්නේ රජය අප්‍රසාදයට පත් කිරීමයි.
ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තමයි මේ ප්‍රචාර ක්‍රියාත්මක වන්නේ. එහෙත් මා දැඩිව ප්‍රකාශ කර සිටිනවා රජය ස්ථාවරයි. මේ ප්‍රචාරවලට රැවටෙන්න එපා. ලෝකයේ සියලුම මිත්‍රශීලී රටවල් අපට උපකාර කරනවා. ජාත්‍යන්තරයේ මූල්‍ය සංවිධානත් ආධාර උපකාර කරනවා.