කිසියම් කණ්ඩායමක් "හක්ක පටස්" යොදා ගනිමින් පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි ඇතුන් මරා දැමීමට ගත් උත්සාහයක් පෙරේදා (24දා) ව්‍යර්ථ කිරීමට හැකි වූ බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ
අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවැසුවාය.

පින්නවල අලි අනාථාගාරයෙහි මේ වනවිට අලි ඇතුන් අසූ අට දෙනකු රඳවා තබා තිබේ. අලි නාන තොටුපළට යාබදව පිහිටි පරිශ්‍රයෙහි තිබූ හක්කපටස් මුලින්ම දැක ඇත්තේ අනාථාගාරයෙහි සේවය කරන ඇත්ගොව්වෙක් බව අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටින්නීය.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරීන්ට සිදුවීමට ගිය විපතක් වළකා ගැනීමට හැකිවූ බවත් මෙය කුමන්ත්‍රණයක් විය හැකි අතර රඳවා සිටින අහිංසක අලි ඇතුන් මරා දමා ඒ ආශ්‍රයෙන් විෂය භාර අමාත්‍යවරයාට හෝ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට බලපෑමක් එල්ල කිරීම හක්ක පටස් තැබූ කණ්ඩායමේ අරමුණ වන්නට ඇති බවත් මල්සිංහ මහත්මිය සඳහන් කරන්නීය.

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භකොට ඇතැයිද වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පැවැසුවාය.

සපුමල් ජයසේන