දක්‍ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමට පස්‌ කියුබ් පන්ලක්‍ෂයක්‌ කැපීමේ ව්‍යාපෘතිය මහා පරිමාණ ජාවාරමක්‌ බවට පත්ව ඇතැයි ඉහළ පෙළේ විමර්ශනයකින් අනාවරණයවී තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් හම්බන්තොට, වලව විශේෂිත කලාපයේ අක්‌කර 671 ක්‌ මේ වන විට වෙන් කර ඇති අතර මෙම ඉඩම් මැනුම් කර වෙන්කර ඇත්තේ විධිමත් පටිපාටියකින් තොරව යෑයිද විමර්ශනයේදී
හෙළි වී ඇත. මෙම ඉඩම් අක්‌කර 671 පස්‌ කැපීම සඳහා පුද්ගලයන් 29 දෙනකුට පවරා තිබේ. පස්‌ කැපීම සඳහා බලය පැවරීමේදී දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල දේශපාලකයන් දෙදෙනකු සම්බන්ධ බවටද තොරතුරු ලැබී ඇත.

එලෙස දේශපාලන හිතවත්කම් මත පස්‌ කැපීම සඳහා බලය ලබාගත් පුද්ගලයන්
තමන්ට නියමිත අක්‌කර අටක භූමිය අක්‌කර දහතුන දක්‌වා ව්‍යාප්ත කර ගනිමින් පස්‌ කියුබ් 117570 ක්‌ අනවසරයෙන් ඉවත් කරගෙන ඇත. තවත් පුද්ගලයෙක්‌ තමන්ට නියමිතව තිබූ අක්‌කර අට අක්‌කර දහඅටක්‌ දක්‌වා ව්‍යාප්ත කර ගනිමින් පස්‌ කියුබ් 58487 ක්‌ අනවසරයෙන් ඉවත් කරගෙන තිබේ.

මෙලෙස පස්‌ ඉවත් කිරීමේ දී කියුබ් එකක්‌ සඳහා මහවැලි අධිකාරියට රුපියල් 560 ක්‌ බැගින් ගෙවිය යුතු වන අතර ඉහත දෙදෙනා අනවසරයෙන් ඉවත් කර ඇති පස්‌ කියුබ් සඳහා අයවිය යුතු මුදල රුපියල් කෝටි දහයකට ආසන්නය. මේ වන තෙක්‌ එම මුදල් අයකර ගැනීමට කටයුතු කර නැත.

පරිසර හානිය අවම කරමින් පස්‌ කැපීමේ කාර්යය නියමිත පරිදි සිදුවන්නේ නම් මහවැලි අධිකාරියට රුපියල් කෝටි විසිඅටක ආදායමක්‌ උපයා ගැනීමට හැකි වන බව විමර්ශන වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර පස්‌ කැපීමට බලපත්‍ර ලබාදීමට අදාළව නාගරික සංවර්ධන අධිකාරිය ද පරස්‌පර ස්‌ථාවරයක්‌ ගෙන ඇත. පස්‌ ඉවත් කිරීම සඳහා වෙන්කර ඇති අක්‌කර අටක භූමි කොටසක්‌ අලි කළමනාකරණ කලාපය තුළ පිහිටා ඇති නිසා ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබා ගත යුතු බවට නාගරික සංවර්ධන අධිකාරිය භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට පසුගිය 2015 වසරේ ඔක්‌තෝබර් මස 23 වැනි දාතමින් ලිපියක්‌ නිකුත් කර ඇති අතර ඉන්පසුව එම වසරේ දෙසැම්බර් මස 3 වැනි දාතමින් එම කාර්යාංශයට නාගරික සංවර්ධන අධිකාරිය යවා ඇති ලිපියේ එම කොන්දේසිය ඉවත් කර තිබේ.

නිලන්ත මදුරාවල (divaina)