පිටිදූවේ හිමිගේ ධර්ම සංවාද වැඩසටහනට
පිළියන්දලදී කුණු බිත්තර ගල්මුල් (video)

ඊයේ (26) ඉරිදා පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පවත්වන්නට යෙදුණු පිටිදූවේ සිරිධම්ම  (අරහත් සිරි සමන්ත භද්‍ර) හිමියන්ගේ ධර්ම සංවාද වැඩසටහනකට එරෙහිව අවට සිටි  පිරිස් ගල්මුල් කුණු බිත්තර ප්‍රහාර එල්ල කර අවසානයේ පිටිය මැද විරෝධතා පළ කිරීම හේතුවෙන් අතරමග අත්හැර දමන්නට සිදුවූ බව වාර්තාවේ.
ගුවන් විදුලි නාලිකාවක් මගින්
සංවිධානය කර තිබුණ මෙම ධර්ම සංවාද වැඩසටහන පස්වන වරට ඊයේ සවස 6 සිට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි පිටියේදී සිදු කරන්නට නියමිතව තිබුණ බව පූර්ව ප්‍රචාරයන් ගෙන ගොස් තිබුණ අතර පිටිය මැද වේදිකාවක පිටිදූවේ හිමියන් වාඩිගන්නා විශාල ආසනයද සිටුවා සියල්ල සූදානම් කර තිබියදී සවස් කාලයේ

සිට හිමියන්ට එරෙහිව විරෝධතා දක්වන පිරිස් පිටිය වටකොට රතිඤ්ඤා පත්තු කරමින් ගල් මුල් රැගෙන එමින් එය පවත්වනවාට විරුද්ධව සිය විරෝධය පළ කරමින් සිටි බව වාර්තාවේ.
 සිරි සමන්ත භද්‍ර නමින් පෙනී සිටින මෙම හිමියන් තමන් අරහත් තත්වයට පත්වූ බව පවසන අතර පසුගිය කාලයේ මහායාන භික්ෂුවකට සමාන ආකාරයට හැසිරෙමින් ථෙරවාද ශාසනය විනාශ කරන බවට ඇතැමුන්ගේ විවේචන පළ විය.
විශාල කේක් කපමින් විනෝද වන, සියලුම ආකාරයේ මස් මාංශ ආහාර පිළිගන්වමින් උපන්දින උත්සව පන්සලේ තබන, ජීවතුන් අතර සිටියදීම තමාගේ පිළිම පන්සලේ පිහිටුවන, පාරේ වැඩමවද්දී ගෝලයින් ලවා දෙකකුල වෙත මල් ඉසගන්න මෙම හිමියන්ට එරෙහිව මීට වසර කිහිපයකට එපිට සිටම විවිධ පාර්ශ්ව විවේචන එල්ල කර තිබුණි.
ඊයේ පිළියන්දල වැඩසටහන ආරම්භ කරන අවස්ථාවේ සිට එල්ලවූ විරෝධතා නිසාදෝ පිටිදූවේ සිරිධම්ම හිමියන් එම ස්ථානයට වැඩම කර නොතිබූ අතර ඒ වෙනුවට එහිමියන්ගේ අනුප්‍රාප්තික වෙනත් හිමිනමක් විසින් වැඩසටහන ආරම්භ කර කරගෙන යන ලදි.වැඩසටහනට එක්ව සිටියේද සුළු පිරිසකි.

කෙසේ වෙතත් වැඩසටහන පවත්වන අතරවාරයේ පිටිය වටකරගෙන සිටි විරෝධතා කරුවන් වැඩසටහන කරගෙන යද්දීත් කුණු බිත්තර ගල්මුල් ඒ දෙසට එල්ල කර තිබුණ අතර පිළියන්දල පොලිසියේ ආරක්ෂාවද එම ස්ථානයට සපයා ති‍බුණත් ඔවුන් පසුබැස තිබුනේ නැත.
අවසානයේ පිටිය මැද සභාව දෙසට විරෝධතා දක්වන හිමිවරුන් පිරිසක් හා ගිහි පිරිසක් පැමිණ කලබල කළ අතර මෙම වැඩසටහන නවතා දමන බව මූලාසනයෙන් නිවේදනය විය.

සිද්ධිය අවස්ථාවේ වීඩියෝවක් පහතින්