ඊයේ (15 දා)  ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යුද හමුදා බුද්ධි අංශයේ ලාන්ස්‌ කෝප්‍රල් කන්දේගෙදර පියවංශ මහතාගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ නඩුවක් විභාගයට ගත් අතර ඔහුව ලසන්ත ඝාතනයට සැකපිට ත්‍රස්‌ත
විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව වසරක්‌ පමණ රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කරන ලදි.
 ඔහුට රුපියල් ලක්‍ෂයක වන්දියක්‌ ගෙවන ලෙස ත්‍රස්‌ත විමර්ශන අංශයේ පොලිස්‌ නිලධාරීන් තිදෙනකුට සහ රජයට ශ්‍රේෂ්ඨාධිකරණය  නියෝග කළේය.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ත්‍රස්‌ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්‌පති සී. එන්. වාකිස්‌ට, ස්‌ථානාධිපති එස්‌. හෙට්‌ටිආරච්චි, පොලිස්‌ පරීක්‍ෂක බෝගමුව සහ නීතිපති වගඋත්තරකරුවන් ලෙස නම් කොට පෙත්සම ගොනු කර තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්‌ හමුවේ පෙත්සම විභාග විය.
2010.02.27 වැනිදා ත්‍රස්‌ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කිසිදු හේතුවක්‌ නොදන්වා කට උත්තරයක්‌ ලබා ගැනීමට අවශ්‍ය බව පමණක්‌ පවසා පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ඇත.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන කිසිවක්‌ දන්නවාදැයි මුලින්ම ඇසූ පොලිස්‌ නිලධාරීන් ඊට පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ කිසියම් සම්බන්ධයක්‌ පැවැත්වුවා දැයි විමසා ඇත. ඒ කිසිත් දන්නේ නැතැයි පෙත්සම්කරු පැවසීමෙන් අනතුරුව ඔහු රැඳවුම් භාරයට පත් කර තිබේ.
ඊට මාස කීපයකට පසුව රැඳවුම් භාරයෙන් නිදහස්‌ කර ඇති නමුත් පසුව යළිත් අත්අඩංගුවට ගෙන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් උසාවියේ පැවැත්වෙන නඩුවේ සැකකරුවකු වශයෙන් නම් කර උසාවියට ඉදිරිපත් කර ඇත.
දෙවැනි වතාවට අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක්‌ එල්ල කර නැති බවත් මේ වන තෙක්‌ ම වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින බවත් ඒ නිසා බිරිඳ හා දරුවන් රැක බලා ගැනීමට මඟක්‌ නැතිව ඉතා අසීරු තත්ත්වයකට පත්ව සිටින බවත් පෙත්සමෙන් කියා සිටි පෙත්සම්කරු වහාම රිමාන්ඩ් භාරයෙන් නිදහස්‌ කිරීමට නියෝග කරන ලෙසත් චෝදනාවක්‌ නැතිව රක්‍ෂිත භාරයේ රඳවා තබා ගැනීමට වගකිවයුතු පොලිස්‌ නිලධාරීන්ගෙන් සුදුසු වන්දියක්‌ අයකර දෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
පෙත්සමේ සඳහන් කර තිබූ අන්දමට පෙත්සම්කරු 33 හැවිරිදි දෙදරු පියෙකි.