බම්බලපිටියේ පාසල් සිසුවිය
පාසලේ පාලමෙන් පැන

දිවිනසාගැනීමේ තැත අපැහැදිලියි

පෙරේදා (15) උදෑසන බම්බලපිටිය මුස්ලිම් කාන්තා විද්‍යාලයේ
 15 හැවිරිදි සිසුවියක්‌ එම පාසලේ අංශ යාකරමින් පිහිටා ඇතැයි පැවසෙන පාලමකින් දිවිනසාගැනීමේ අදහසින් බිමට පැනීම නිසා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.මෙම පාලම පිහිටා ඇත්තේ
පාසලේ ද්විතීයික අංශයත්,

ප්‍රාථමික අංශයත් සම්බන්ධ කරන ස්ථානයක වන අතර අඩි 24 ක් පමණ උසක පාලමක් වන බවද පැවසිණි.මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිසුවිය එදින පාසල් කාලය තුළ මෙම පාලම අසළට පැමිණ ඇත්තේ 10.30 ට පමණය. ඇය පනින්නට තැත් කරන ආකාරය කිසිවෙකු නිරීක්ෂණය කර නැත.
පාලමෙන් වැටුණ පසු කෙඳිරිගාමින් පහළ ඇය සිටිනු දුටු ගුරුවරියක වහා ඇයව රෝහල් ගත කරන්නට කටයුතු කර තිබේ.
පාලමෙන් පැනීමෙන් ඇගේ දෙකකුලේ හා අතක අස්‌ථි බිඳී ගොස්‌ කොන්දට ද හානි සිදුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ සිටියදී ඇගේ ප්‍රකාශයක් ලබාගන්නට පොලිසිය උත්සාහ කළද හේතු කිව නොහැකි බව පවසමින් ඇය ප්‍රකාශයක් ලබාදී නැත.
මේ වනවිට ඇය රෝහලෙන් පිටව ගොස් නිවසේ විවේකයෙන් පසුවන බව වාර්තාවේ. ඇයගේ වැඩි තොරතුරු සොයන්නට පොලිසිය උනන්දුවී තිබේ.
කොළඹ ටොරින්ටන් මාවතේ පදිංචිකාරියක බව කියන ඇයගේ පියා විදෙස්ගතව සිටින අයෙකි. මව හා බාල සොයුරිය සමග ඇය නිවසේ වාසය කරන අතර පොලිසිය පවසන්නේ ඇයගේ පුද්ගලික ජීවිතයේ හෝ පවුලේ කිසියම් ප්‍රශ්නයක් නිසා මානසික ආතතියට පත්ව මේ ආකාරයට පනින්ට උත්සාහ කර  ඇතැයි සැක බවයි.
අැය සොරකමක් සිදු කළ බවට සිසු නායිකාවන් කළ තරවටුවක් නිසා ඇයට පාසලේදී සිත් බිඳෙන යමකු සිදුවූවාද යන්න ගැනද වෙනම පරීක්ෂණයක් ඇරඹී ඇත. බම්බලපිටිය පොලිස් කාන්තා හා ළමා ඒකකය මේ ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර ඊයේ සවස ඇයගෙන් ප්‍රකාශයක් ලබාගන්නට නියමිතව තිබිණි.