ගම්පොළ ඇත්ගාල මහවැලි ගඟේ දුංහිඳ ප්‍රදේශයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකු දියේ ගිලී මියගොස්‌ තිබේ. මෙසේ මියගොස්‌ ඇත්තේ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචිව සිටි තේමිය සුපුන් නවරත්න, චාමික සංදීප සෙනවිරත්න හා උඩගම ප්‍රදේශයේ පදිංචි ගයාන් අමිත බණ්‌ඩාර යන තිදෙනාය.
මොවුන් සියලු දෙනා උලපනේ උඩගම සරණපාල මහ විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි දරුවෝ වෙති.
එම පන්තියේ සිසුන් 5 දෙනකු මෙසේ දිය නෑමට පැමිණ ඇති අතර
ඉන් තිදෙනකු පෙරේදා (21 දා) දහවල් දියේ ගිලී අතුරුදන්ව ඇත.
අනික්‌ සිසුන් දෙදෙනා නිවෙස්‌වලට ගියද සිද්ධිය පිළිබඳව දෙමාපියන්ට පවසා නොමැති අතර රාත්‍රි 9 ට එම සිද්ධිය දැනගත් දෙමාපියන් සිය දරුවන් සෙවීම ආරම්භ කොට ඇත. ගම්පොල නාවලපිටිය මාර්ගයේ ඇත්ගාල ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 3 ක්‌ පමණ
පාගමනින් මෙම දුන්හිඳ ස්‌ථානයට යා යුතු අතර රාත්‍රියේ මෙම දරුවන් සොයා ගැනීමට නොහැකිවී තිබේ.
ඊයේ (22 දා) පෙරවරුවේ ගම්පොල පොලිසිය මගින් නාවික හමුදාවට මේ බව දැන්වීමෙන් පසුව ඔවුන් කොළඹ සිට ගම්පොලට පැමිණ තිබේ. එතෙක්‌ ප්‍රදේශයේ තරුණ හා වැඩිහිටි පිරිස්‌ මෙම මළ සිරුරු සොයා ගැනීමට දැඩි වෙහෙසක්‌ ගත්තද ගැඹුරු වළක මොවුන් දියේ ගිලී තිබීම නිසා එය අපහසු විය.
නාවික හමුදා කිමිඳුම් කණ්‌ඩායම පැමිණ මහත් ආයාසයකින් මෙම තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබේ.
මෙම සිසුන් පස්‌දෙනා ගඟේ පහළ කොටසින් දිය නා ගඟේ ඉහළ කොටස නැරඹීම සඳහා ගඟ දිගේ ඉහළට යමින් සිටියදී එක්‌ සිසුවකු ගලකින් ලිස්‌සා දියට වැටී තිබේ. ඔහු බේරා ගැනීම සඳහා පිළිවෙළින් සියලු දෙනා දිය වළට පැන ඇති අතර ඉන් තිදෙනකු මෙසේ ගිලී ඇති බව පරීක්‍ෂණ පවත්වන ගම්පොල පොලිසිය අනාවරණය කර තිබේ.
මියගිය සිසුන්ගේ දෙමාපියන් පවසන්නේ මෙම සිසුන් පාසලේ වැඩක්‌ ඇති නිසා පාසලට යන බව පවසා නිවෙස්‌වලින් ගොස්‌ ඇති බවයි. මහවැලි ගඟේ දිය නෑමට ගිය බව කිසිවකුත් දැන නොසිටි බවත් දරුවන් අතුරුදන් වූ බව දැන රාත්‍රී කාලයේ ප්‍රදේශයේ සෑම තැනකම සොයා බැලූ බවත් මාපියන් පොලිසියට පවසා තිබේ.
උඩගම පාසලේ විදුහල්පතිනිය වන ඩී. ඡේ. සී. කේ. ගොඩකුඹුර මහත්මිය මෙසේ පැවැසුවාය. මෙම ළමුන් තිදෙනා අප පාසලේ 9 වසර ඉගෙනුම ලබන අය. ඔවුන් පාසලේ හොඳට හිටියා. ඉගෙනුමටත් හොඳයි. පාසලට ළමයින්ට එන්ට කියලා තිබුණේ නෑ. කවුරුත් තමන්ගේ දරුවන් පිළිබඳව සැලකිල්ලෙන් සිටියානම් මෙවැනි විපත් වන්නේ නෑ.
ගොඩගත් මළ සිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහල වෙත යෑවීමට කටයුතු යොදා ඇති අතර ගම්පොල පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි

(ගම්පොල - සුරංග දිල්හාන්)