තාප්ප ගලවා ඉවත් කළ  
මර්වින් සිල්වාට ලක්ෂ 4 ක දඩ

මින් වසර 6 කට පෙර 2010දී හිටපු ඇමති මර්වින් සිල්වා කිර්බත්ගොඩ ප්‍රදේශයේ මාර්ග පුළුල් කිරීමේ කටයුතු වලදී සෘජුව මැදිහත්වූ අයුරු රූපවාහිනියෙන්ද බොහෝ අයට නරඹන්නට ලැබිණි. මෙකී සමයේ ඇමතිවරයාගේ ඇතැම් පිරිස් කිසිදු ලිපි ලේඛනයකින් තොරව එක්වරම නිවාස ඉදිරිපිටට පැමිණ බැකෝ යන්ත්‍ර යොදවා තාප්ප නිවාස උදුරා දැමුණ අතර බලහත්කාරයෙන් සිදු කළ ඇතැම් කඩා බිඳ දැමීම් ඉවසා සිටින්නට
මහජනතාවට සිදුවූයේ එකල මර්වින්ට එරෙහිව කිසිදු වරදක් සම්බන්ධයෙන් නීතියක් ක්‍රියාත්මක කරන්නට ඉහළින් වළක්වා තිබුණ බැවිනි.
නමුත් වසර ගණනාවකට පසු එම තත්වය කණපිට හැරී මර්වින් ඇමතිවරයා නිවසක තාප්පයක් හා වැසිකිලි නානකාමර ඒකකයක් කඩා ඉවත්කිරීමෙන් සිදු කළ මූලික අයිතිවාසිකම් කඩකිරීමකට වන්දි ගෙවන්නට සිදුවූ පුවතක් ඊයේ අධිකරණයෙන් වාර්තා වුණා.

 කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිචිකරුවකු වන අසිත නානායක්කාර ලියනගේ මහතාට අයත් නිවසේ තාප්පය 2010 වර්ෂයේ සැප්තැම්බර් මස 18 වැනි දින විරෝධය නොතකා කැලණිය ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රයක් රැගෙන විත් ගලවා ඉවත් කරන්නට මර්වින් සිල්වා එම ස්ථානයට පැමිණ එම ක්‍රියාව සිදු කරවූ බවත් පෙත්සමෙන් දැක්විණි.
ඔහු පවසන්නේ එය මාර්ගය පුළුල් කිරීමක් යයි දක්වමින් ඇමතිවරයා සිදු කළද පුද්ගලික පලිගැනීමක් ඒ තුළ වූ බවයි.



ඇමතිවරයාට හිතවත් ගොලයින් තම නිවසට යාබදව බාධාකාරී ලෙස ත්‍රීරෝද රථ ගාලක් පවත්වා යන නිසා එයට එරෙහිව නඩු පැවරීමෙන් පසු ඒ ගැන ආරංචිවී පැය බාගයකින් තාප්පෙ ගලවනවා යයි මර්වින් ඇමතිවරයා තර්ජනාත්මක ඇමතුමක් දී මේ දේ කරවූ බවද පෙත්සමෙන් දැක්වේ.මේ ගැන එදිනම පොලිසියට පැමිණිලි කළද ඇමතිවරයාගේ බලපෑම නිසා ඒ ගැන විමර්ශනයක් පොලිසියෙන් සිදුවූයේ නැතැයිද දන්වා ඇත.

ප්‍රදේශවාසියකුගේ නිවසේ තාප්පයක් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා විසින් ඔහුගේ මූලික හිමිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය

රුපියල් ලක්ෂ හතරක වන්දියක් ඔහුට ගෙවන ලෙස හිටපු මන්ත්‍රීවරයාට නියෝග කළේය. එවක රජයේ ඇමැතිවරයකු වශයෙන් එම වරද කර ඇති නිසා රජයෙන්ද රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කරුට
ගෙවන ලෙසද නියෝග කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීමෙන් කිරිබත්ගොඩ එවකට (2010) ‍පොලිස් ස්ථානාධිපතිව සිටි චමින්ද එදිරිසූරිය මහතාද වරදක් සිදුකර ඇති බැවින් ඔහුද තම පෞද්ගලික මුදලින් රුපියල් 50,000ක් වන්දි ලෙස ගෙවිය යුතු බවටද  නියෝග කෙරිණි.

මෙම තීන්දුව ප්‍රකාශ කළේ ඊවා වනසුන්දර, අනිල් ගුණරත්න හා කේ.ටී. චන්ද්‍රසිරි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය විසිනි.