වවුචරේට ව්‍යාපාරිකයාගේ හොර අත්සන යොදා
වයිෆ්ටයි පුතාටයි ලක්ෂ 44ක් දාගත්

මහරගම සෙලාන් බැංකු නිලධාරියා මාට්ටු

පාරිභෝගිකයින් නිරන්තරයෙන් බැංකු සමග ගනුදෙනු කරන්නේ එම ආයතනවල නිලධාරීන් ගැන විශ්වාසයක් තබාය. තමන් ලබාදෙන මුදල් හෝ චෙක්පත් ආදිය නිසි පරිදි ඔවුන් හසුරුවන බවට පූර්ව නිගමනයක් හැමටම ඇති අතර ඒවා අයථා භාවිතයේ යොදවන බවට සැකයක් ඇති කරගන්නේ නැත.
නමුත් වැඩිපුර සොයන්නේ නැතිව නිතරම විශ්වාසය මත සල්ලි තැන්පත් කරන්නට පුරුදු වූ ව්‍යාපාරිකයෙකුගේ අත්සන හොරට යොදා තමන්ගේ පවුලට අයත් බැංකු ගිණුම් වල
මුදල් තැන්පත් කරගත් පුද්ගලික බැංකු සේවකයෙකු ගැන පසුගියදා වාර්තා වුණා.
මහරගම සෙලාන් බැංකු ශාඛාවේ සේවය කළ ක‍්‍රිස්ටි පෝල් ප‍්‍රනාන්දු නමැති නිලධාරියෙකු රුපියල් ලක්ෂ 44 ක් මේ ආකාරයට


සොරාගෙන ඇති අතර ව්‍යාපාරිකයාගේ අත්සන හොරට යෙදූ වවුචර ආධාරයෙන් ඔහු එම මුදල් තමන්ගේ බිරියගේ හා පුත‍්‍රයාගේ ගිණුම් වලට යොමු කරගෙන ඇත.

වැඩි විශ්වාසයට කැෂියර් කවුන්ටර අසළට ඇවිත් නිලධාරීන් හමුව යන පෝලිම්වලත් නොසිට ගනුදෙනු කරන මෙම ව්‍යාපාරික මහතා පෙරකී නිලධාරියා මෙවැනි වංචාවක් සිදු කර ඇති බව දැනගෙන ඇත්තේ දිගු කලක් ගතවීමෙන් පසුවය.

ඔහුගේ බැංකු පොත විගණන නිලධාරීන්ගේ පරීක්ෂා කිරීමකදී ගිණුම් ගතනොවුන ගනුදෙනුව ගැන සැක සිතී මහරගම සෙලාන් බැංකු කළමණාකරු හමුවීමේදී වංචාව හසුව තිබේ. තමා අත්සන් නොකළ රුපියල් 27000 ක් බැරකිරීමේ වවුචරයක් බැංකුව තුළ තිබීම දැක ව්‍යපාරිකයා පුදුමයට පත්ව තිබෙන අතර පසුව විමර්ශනය කිරීමේදී වංචාව සිදු කළ නිලධාරියා ඒ වනවිට එම බැංකු ශාඛාවෙන් මාරුවක් ලබා බොරලැස්ගමුව ශාඛාවේ සේවය කරන බව සොයාගෙන ඇත.

ඔහුගේ බිරියගේ හා පුත‍්‍රයාගේ බැංකු ගිණුම් වල මේ ආකාරයට වරින්වර බැර කරගත් රුපියල් 44,36,900 ක මුදලක් ඒ අනුව සොයාගන්නට හැකිව තිබේ.

ඒ අනුව වංචාව සිදු කළ මත්තෙගොඩ පදිංචි ක‍්‍රිස්ටි පෝල් ප‍්‍රනාන්දු නමැති සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න හමුවේ ඔහු වරද පිළිගෙන තිබේ.ඔහුට ලක්ෂ 10 ක් අධිකරණයේ තැන්පත් කර ලක්ෂ 25 ක් ඇප නියම කර විදෙස් ගතවීම තහනම් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර ඇති අතර වැඩිදුර විභාගය ඉදිරියටත් පැවැත්වේ.