ඩෙංගු මදුරු කීට බෝ වී ඇති නිවාසවල අයිතිකරුවන්ට මින් ඉදිරියට නඩු පැවැරීමට පෙර පළමුව රතු නිවේදනයක් නිකුත් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කළාය.

ඩෙංගු මදුරු කීට බෝවී ඇති බවට දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පවරා තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරිය විසින් මේ නියෝගය කරනු ලැබුවාය.
මේ නඩුවේ විත්තිකරු වන මාලදිවයින් ජාතිකයකු මහෙස්ත්‍රාත්වරිය වෙත කරුණු දක්වමින් දේශපාලන පක්ෂයක නියෝජිතයන් පිරිසක් ලෙස හැඳිනගත් පිරිසක් තමාගේ නිවෙස පරීක්ෂා කර එහි පැරැණි සනීපාරක්ෂක කට්ටලයක මදුරු කීට බෝ වී ඇති බව පැවැසූ බවත් තමන් මීට පෙර මෙවැනි දෙයක් අසා නොමැති බවත් කෙසේ වෙතත් තමා නීතියට ගරු කරන බවත් පැවැසීය.
සැකකාර මාලදිවයින් ජාතිකයකුට අවවාද කර නිදහස් කළ මහෙස්ත්‍රාත්වරිය මින් ඉදිරියට මදුරු කීට බෝවුණු නිවාසවල අයිතිකරුවන් එකවර අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර රතු නිවේදනයක් ලබා දෙන ලෙස නියෝග කළාය.

ආනන්ද වීරසූරිය