ලබන වසරේ වෙසක් පුන් පොහෝ දිනය හා එම වෙසක් සතිය ජාත්‍යන්තර මට්ටමින් සැමරීමට ලක් රජ සූදානම් වේ.
එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල ලෙස නම් කර ලබන වසරේ (2017) මැයි මස 11,12 හා 13 යන දිනයන්හිදී එය පවත්වන අතර ඒ ගැන කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ
මහාචාර්ය බ්‍රහ්මපණ්ඩිත් ස්වාමීන් වහන්සේ ඇතුළු කමිටුවක් රැස්වී සංවිධාන කටයුතු

අරඹා ඇති බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.
මෙම උළෙලේ සමාරම්භක උත්සවය ලබන මැයි මස 11 දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ද දෙවැනි උත්සවය සංස්කෘතික ප්‍රසංගයක් සමඟ 12 වැනි දින කොළඹ නෙලුම් පොකුණ රඟහලේදීද, සමාප්ති උළෙල 13 දින දළදා මාලිගාවේ මහ මළුව අසලදීද පැවැත්වීමට තීරණය කරගත් බව එම අමාත්‍යාංශය පවසයි.
සමාරම්භක උළෙල සඳහා සහභාගි වන ලෙස ඉන්දීය අගමැතිවරයාට මෙන්ම සාර්ක් රටවල හා වෙනත් බෞද්ධ රටවල රාජ්‍ය නායකයන්ටද ආරාධනා කිරීමට තීරණය කර ඇති අතර එම
වෙසක් උළෙලේ පූර්ණ සංවිධාන කටයුතු මහානායක හිමිවරුන්ගේ, ජනාධිපති හා අගමැතිවරයාගේ මෙන්ම බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.