මවගේ බැණ වැදීම හේතුවෙන් නිවස හැරදා වවුනියාවේ සිට කැකිරාව, සේනපුර දක්‌වා පාපැදියෙන් පියාගේ ඥති නිවසකට යමින් සිටි වව්නියාවේ පදිංචි බාලවයස්‌කාර පාසල් සිසුවියක්‌ මිහින්තලය පොලිසියේ ළමා හා
කාන්තා කාර්යාංශය මගින් පොලිස්‌ භාරයට ගැනීමෙන් පසුව මවට භාරදීමට පෙරේදා 25 දා කටයුතු කළේය.

මව විසින් නිවසෙන් පිටව යන ලෙසට බැණ වැදීම නිසා නිවස හැරදා මියගොස්‌ සිටින පියාගේ ඥතීන් සිටින සේනපුර ප්‍රදේශයට යමින් සිටි බව පොලිස්‌ භාරයට ගත් දැරිය පොලිසියට පවසා ඇත.


මවගේ බැණ වැදීමෙන් අනතුරුව දැරිය නිවසේ ඇඳ සිටි ඇඳුමින් පාවහන් යුගලක්‌වත් නොමැතිව පාපැදියෙන් කැකිරාවට ගමන් කර ඇති අතර කිලෝ මීටර් 50 කට වැඩිදුරක්‌ පාපැදිය පදවාගෙන එමින් සිටියදී තිබහක්‌ ඇතිවී වතුර පානය කිරීම සඳහා මිහින්තලය හන්දිය ප්‍රදේශයේ වෙළෙඳසැලකට ගිය අවස්‌ථාවේ එහි සිටි පිරිස දැරියගෙන් තොරතුරු විමසා ඇය නිවසෙන් පලා යන බව තහවුරු කරගෙන ඒ පිළිබඳව පොලිසියට දන්වා තිබේ.

පසුව පොලිස්‌ භාරයට ගත් දැරිය මව ගෙන්වා ඇයට අවවාදකර නැවතත් භාරදී ඇති අතර දැරිය හඬා වැටෙමින් කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිවරියට පවසා ඇත්තේ අම්මා මට ආදරේ නෑ. අම්මා ආදරේ ලොකු අක්‌කට, මට ගෙදරින් බැහැලා පලයන් කිව්වා. මම ඒ නිසා මැරචිච් තාත්තගේ ඥතියකුගේ ගෙදරකට යන්න නිවසින් පිටත්වුණා යනුවෙනි. තරුණ දරුවන්ට අවවාද කිරීමේදී දෙමාපියන් බෙහෙවින් සිතා බලා කටයුතු කළ යුතු බව මවට පවසා දෙපාර්ශ්වයට අවවාද කර දැරිය ඇගේ මවට පොලිසිය කටයුතුකර තිබුණි.

මිහින්තලය පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රුක්‌මාල් රත්නායක මහතාගේ උපදෙස්‌ මත දැරිය මව භාරයට පත් කිරීමට ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු කර තිබුණි.

මිහින්තලේ - රංග චතූ