යාපනයේ කඩ සාප්පු වසා
‘දෙමළ ජනතාවනි නැගිටිවු’
කියන විග්නේෂ්වරන්




පසුගිය සෙනසුරාදා (24) උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මුල්වී යාපනයේ පැවැත්වූ විරෝධතාවය වර්තමාන රජයේ සංහිඳියා ප්‍රතිපත්තියට කෙතරම් දුරට බාධාකාරීද යන්න ගැන මේ වනවිට කතාබහක් මතුව තිබේ.
‘එළුග තමිල්’ හෙවත් ‘දෙමළ ජනතාවනි නැගිටිවු’ යන තේමාවෙන් එදින යාපනය පුරා කඩසාප්පු වසා හර්තාලයක්ද දියත්ව තිබුණ අතර පාගමනින් ගිය පිරිස් යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී රැස්වීමක්ද පැවැත්වූවා.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වූවන් සොයා දීම, උතුරේ දෙමළ ජනතාවට අයත් ඉඩම්
නිදහස් කිරීම , උතුර - නැගෙනහිර පළාත් එකතු කිරීම,සිංහල ජනාවාස ඉදිකිරීම නතර කිරීම, හමුදා කඳවුරු ඉවත් කිරීම ඔවුනගේ ඉල්ලීම් අතර තිබේ.
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.සිද්ධාර්තන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ඊට යාපනය සරසවි ගුරු – සිසු, වෙළද සංගම්,කාන්තා කමිටු ඇතුළු සිවිල් සංවිධාන 48ක් එක්ව සිට ඇත.
ඔවුන් රැස්වීම ආරම්භ කළේ නල්ලූර් කෝවිල සහ යාපනය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කළ පාගමනකින් පසුවයි.
රැස්වීමේදී අදහස් දැක්වු උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය


සී.වී.විග්නේෂ්වරන් කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස පවත්වන මෙම විරෝධතා දකුණේ සිංහල බෞද්ධ ජනතාව වරදවා වටහා නොගත යුතු බවකි.අයිතිවාසිකම් දිනා ගනු වස් හඬ නැගීම පිටුපස සිංහල විරෝධයක් නොමැති බවද ඔහු කියා තිබේ.
 මේ ගැන කොළඹදී අදහස් පළකළ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියා සිටියේ එම සටන් පාඨ දෙමළ ලෙස නොව ශ්‍රී ලාංකික ලෙස වෙනස් විය යුතු බවකි. උතුරේ මෙන්ම දකුණේ ද ක්‍රියාත්මක ජාතිවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් කලබලවීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඔහු කියා තිබේ.

මේ අතර  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා 'බීබීසී සංදේශය'ට කියා ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ 'එළුග තමිල්' වැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීම සුදුසු නොවන බවයි. එයට දෙමළ ජාතික සන්ධානය (TNA) සම්බන්ධ නැති බවද ඔහු පවසයි.

මේ ගැන ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ අතීතයේ මෙන්ම වර්තමනයේ බෙදුම්වාදී අදහස් ඇති පුද්ගලයින් රට තුළ සිටින බවත්
ඔවුන්ගේ අරමුණු පරාජය කිරීම සඳහා ඕනෑම සටනකට සූදානම් බවත්ය.‍
උතුරේ මහ ඇමති යාපනයේ හර්තාල් පවත්වමින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලිමට රජය කිසිසේත්ම එකග නොවන බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන දන්වා තිබේ. අසාධාරණ ඉල්ලීම් ලබාදිය නොහැකි බවත් එසේ නොකරන බවත් රටේ ආරක්ෂාවට අහිතකර කිසිම තීරණයක් නොගන්නා බවත් පවසන ඔහු මහ ඇමති විග්නේෂ්වරන් මහතා සංවිධානය කළ හර්තාලය ජාතීන් හා ආගම් අතර සංහිදියාව හා සුහදත්වය වර්ධනය කිරීමට රජය ගන්නා පියවරට  බාධාවක් බවද දන්වා ඇත.