ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක
හතරැස් වෙයි
දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ භාවිත කරන විදුලි පේනු රවුම් හැඩයෙන් යුක්තවූ අතර ඊයේ මහජන උපයෝගිතා කොමිසම සිදු කළ දැනුම් දීම අනුව එය මින් ඉදිරියට හතරැස් හැඩයට මාරු කර තිබේ.
ලංකාවට බොහෝ සෙයින් ආනයනය කරන චීන,තායිවාන,මැලේසියානු ආදී විදුලි නිෂ්පාදන වල පවතින්නේ හතරැස් පේනු වන බැවින් කාලාන්තරයක් තිස්සේ නිවෙස්වල පේනු සවිකිරීමේදී
ඒවා පහසු කරන කෙවෙනි උපාංග නැතිව අනාරක්ෂිත භාවයක් ඇති කර තිබුණි.‍


මේ දක්වා ඇම්පියර් 5 ලෙස සවිකළ පේනු මේ අනුව ඇමිපියර් 13 බවට පත් වන අතර නිවැසියන් විසින් කළ යුත්තේ බිත්තියේ සවිකර තිබෙන ප්ලග් බේස් එක මාරු කර දැමීමය.
කෙසේ වෙතත් මෙම වෙනස නිසා දැනට තනා ඇති නිවාස වල  පරිපතකරණය (වයරීන් කිරීම) සම්බන්ධ ගැටලු ඇති නොවේ. නව ප්‍රමිතිය හඳුන්වාදීමෙන් පසුව අළුතින් විදුලි උපකරණ මිලදී ගැනීමේදී ඇම්පියර් 13 පේනුවක් ඇත්දැයි පරීක්ෂා කරන ලෙස කොමිසම දැනුම් දෙයි.
මෙම වෙනස සඳහා කොමිසම මගින් සංක්‍රාන්ති කාලයක් හඳුන්වාදී ඇත. ඒ අනුව නව ප්‍රමිතිය 2016 අගෝස්තු 16 වනදා සිට බලාත්මක වන නමුත් පෙර වර්ග වල උපාංග ආනයනය තහනම් නැත. 2017 අගෝස්තු 16 සිට නව කාණ්ඩයට අයත් නොවන හෙවත් ජාතික ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගයේ විදුලි පේනු සහ කෙවෙනි ආනයනය තහනම් කෙරේ. පසුව 2018 අගෝස්තු 16 වන දින සිට අලුත් වර්ගයේ නොවන විදුලි පේනු සහිත විදුලි උපකරණ සියල්ල අලෙවිය තහනම් කරනු ඇත.
මෙම ප්‍රමිතිය හදුන්වා දීමට හේතුව විදුලියෙන් පාරිභෝගිකයන්ට වන අනතුරු අවම කිරීම  බව කොමිසම් අධ්‍යක්ෂක ජනරාල් දමිත් කුමාරසිංහ මහතා පවසා ඇත.
ඉදිරියේදී වැඩ නිමකරන නිවාස හා ගොඩනැගිලි වලට නව ප්‍රමිතිය අනුව විදුලි පේනු හා කෙවෙනි භාවිතය වැදගත් බවද ඔහු කියයි.