නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය අසලදී රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය සිදුවූ දින රාත‍්‍රි එවකට නාරාහේන්පිට පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ඬේමියන් පෙරේරා මහතාට අරලියගහ මන්දිරයෙන් හා ජනාධිපති
ලේකම් කාර්යාලයෙන් ලැබුණු සැකසහිත දුරකථන ඇමතුම් රැසක්ද මකා දමා ඇතැයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24 වැනිදා) කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.

එලෙස එකී දුරකථන දත්ත මකාදමා ඇති ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයේ දුරකථන පද්ධති භාරව සිටි නිලධාරීන් මේ වනවිට සේවයෙන්ද ඉවත්ව ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් අනිල් වසන්ත වනිගසූරිය හා ජනාධිපති ලේකම් කාර්යාලයේ සාමාන්‍යාධිකාරිනී ජානකී මල්ලිකාරච්චි මහත්මියගෙන් ලබාගත් ප‍්‍රකාශ අනුව ඒ බව පැහැදිලි වන බවත්, සේවයෙන් ඉවත්ව ගොස් ඇති දුරකථන පද්ධති භාරව සිටි නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ. ෙඡ්. ඒ. අබේනායක (දිවයින)