කාමරයේ යේමන යාළුවා රණ්ඩු නොකරම 
සෞදි ශ‍්‍රී ලාංකිකයා මරලා

වසර දහයක් පමණ සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටි ශ‍්‍රී ලාංකිකයකු රියාද් නුවර කාමරයකදී ඔහුගේ මිතුරාගේ පිහි ඇනුමක් නිසා මියගොස් තිබේ.
මෙම දෙදෙනාම සෞදියේ යාන්ගු ප‍්‍රදේශයේ වීදුරු කම්හලක සේවය කරමින් සිට ඇති අතර මෙම ඝාතනය කිසියම් පුද්ගලික ආරවුලක් හෝ වාදයකින් තොරව අනපේක්ෂිත හා ගුප්ත ලෙස
සිදුව ඇති බවට තොරතුරු තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය අය පදිංචිව සිටි කාමරයේ සිටි යේමන ජාතිකයා එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 16 වැනි දින මධ්‍යම රාත‍්‍රියේ මියගිය අය සිය ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබාගනිමින් සිට ඇති අතර එම ඇමතුමේ ඔහු සිටියදී රෑ 12 ට පමණ


කාමරයට ආ මිතුරා කිසිදු හේතුවකින් තොරව ඔහු පිටුපසින් පැමිණ ඔහුගේ ගෙල ප‍්‍රදේශයට පිහියකින් ඇන පහරදී ඝාතනය කර ඇති අතර ‘මං යාළුවාව මැරුවා“ යයි පසුව යේමන මිතුරා විසින්ම පොලිසිය දැනුවත් කර භාරවී තිබේ.
මේ දෙදෙනා අතර ආරවුල් නොපැවති බවත් යේමන ජාතිකයා  කිසියම් මානසික ප්‍රශ්නයකට මැදිව මෙම ඝාතනය කරන්නට ඇති බවත් විශ්වාස කෙරේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැකිරාව - හොරාපොල පදිංචිව සිටි 34 හැවිරිදි ශියාම් ශිහාබ්දීන් නමැති තිදරු පියෙකි.
පරීක්ෂණ අවසන් නොමැති හෙයින් මළසිරුර ගෙන්වා ගැනීමට නොහැකිවී ඇති බවත් මෙරට මුස්ලිම් චාරිත‍්‍ර අනුව මියගොස් පැය 24 ක් තුළ භූමදානය කළයුතු හෙයින් මළසිරුර පිළිබඳ අවසන් කටයුතු එරට දී සිදුකිරීමට පවුලේ ඥතීන් කැමැත්ත ප‍්‍රකාශ කර තිබෙන බවත් වාර්තා වුණා.