ලසන්තගේ අතුරුදන් දිනපොතේ
තිබුනෙ මොනවද?


පසුගිය රජය සමයේ මහමගදී මරා දැමුණු සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා එලෙස ඝාතනය කළ අවස්ථාවේ ඔහුගේ වාහනයේ තිබූ රහසිගත තොරතුරු අඩංගු දිනපොතක් පොලිසිය මගින් සොයාගෙන තිබුණද එය මේ වනවිට අතුරුදන්ව තිබේ.
එය පරීක්ෂණ මෙහෙයවූ එවක පොලිස් නිලධාරීන් විසින් අතුරුදන් කර ඇතැයි
දැනගන්නට ලැබේ. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

දැන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
තමන් ඝාතනයට කිරීමට උත්සාහ කරන පුද්ගලයන් පිළිබඳව මෙන්ම තමන් පසුපස ලූහුබඳින සැකකටයුතු පුද්ගලයන් ගමන් කළ යතුරුපැදිවල සහ වෙනත් වාහනවලට අදාළ තොරතුරු රැසක් මෙම දිනපොතේ සටහන් කර තිබූ බව ඒ දිනවල පරීක්ෂණවලින් හෙළිවී තිබුණත් ඒ කාලයේ එම ඝාතන පරීක්ෂණ කිසියම් හේතුවක් නිසා මන්දගාමී වූ නිසා එළියට ආවේ නැත.
ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීමට පෙර ඔහුට දුරකථන මඟින් මරණීය තර්ජන එල්ල කළ පුද්ගලයන් සහ ඔවුන් ඇමතුම් ලබා ගත් දුරකථන අංක පිළිබඳ විස්තර ඇතුළු තවත් රහසිගත තොරතුරු රැසක්ද මෙම දිනපොතේ තිබී ඇත.
ඝාතනය සිදුවූ අවස්ථාවේ ඔහුගේ මෝටර් රථයේ තිබූ මෙම දිනපොත එවකට ගල්කිස්ස පොලිසියේ උසස් නිලධාරියකු විසින් ලබා ගෙන පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කීපදෙනකු අතට පත්වී ඇති බවත් අවසානයේ එය එවකට රටේ ආරක්ෂාව භාරව සිටි ඉහළ පුද්ගලයකු වෙත භාරදී ඇති බවටත් මේ වනවිට කෙරෙන විමර්ශනවලදී හෙළිව ඇත.
එම පුද්ගලයා දිනපොත තමන් භාරයට ගැනීමෙන් පසු ඒ පිළිබඳ කිසිදු තොරතුරක් මේ දක්වා ලැබී නැත.
මෙම දිනපොත සොයා ගැනීමට හැකිවුවහොත් ලසන්ත ඝාතනයට අදාළ වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගත හැකි වෙතැයි පොලිසිය දන්වා ඇත.