සෝමවංශ අමරසිංහ මරණය සමග
මතභේද මතුවුවත් සියල්ල සමථයකට


මියගිය ආකාරය තීරණය කරන්නට
අධිකරණයද මැදිහත්වේ

ජවිපෙ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ වත්මන් නායක සෝමවංශ අමරසිංහ මහතා අභාවප‍්‍රාප්ත වීමෙන් පසු ඔහුගේ දේශයට ගෞරවය දැක්වීමේදී දේශපාලන වශයෙන් යම් යම් මතභේද උඩට ආ නමුත් මේ වනවිට විවිධ මතභේදකාරීත්වයන් සමථයකට පත්ව ඇති සෙයක් වාර්තා වෙනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු
කිරීම සිදු කරන්නේ

තම පක්ෂය හා අමරසිංහ මහතාගේ පවුලේ ඥාතීන් විසින් පමණක් යයි ජනතා සේවක පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත විජේසිංහ මහතා පවසා තිබුණි
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම අවසන් කටයුතු උපරිම බර දරා සිදු කරන්නේ යයි කර ඇති ප‍්‍රකාශයට ප‍්‍රතිචාර ලෙස ඔහු මේ විරෝධතා අදහස දක්වා තිබුනේ අවසන් කාලයේ එම පක්ෂය සමග සෝමවංශ මහතා කලකිරී සිටි නිසාය.

ජීවත්ව සිටියදී සෝමවංශට අන්තිම පහත් විදිහට අපහාස කළ ජවිපෙ ඔහුගේ දේහය මතින් කරන්නට හදන පිලිකුල් සහගත දේශපාලනය හෙලා දකින බවද ඔහුගේ නිවේදනයේ සඳහන් විය.

කෙසේ වෙතත් අමරසිංහ මහතාගේ දේහයට ගෞරව කරන්නට ජවිපෙ මෙන්ම විමල් පිලේ ජාතික නිදහස් පෙරමුණද අනෙක් සියලූම දේශපාලන පක්ෂ නායකයින්ද ඊයේ සිට පැමිණි අතර ඔවුන් එකට වාඩිවී අදහස් බෙදාගනිමින් සමගියෙන් එහිදී හැසිරිණි.

මේ අතර සෝමවංශ මහතාගේ නාසයෙන් ලේ ගලායාමෙන් පසු මරණය සිදුවූ ආකාරය ගැන සැකයක් පහළවීම නිසා දේහය සම්බන්ධ තීරණ ගන්නට උසාවියට යාමට පවා ඥාතීන්ට සිදුවිය. එයට හේතුවූයේ සෝමවංශ නෑකමින් බාප්පා වන මයුර අමරසිංහ මහතා ඒ සම්බන්ධ සැකය අධිකරණයට දැන්වීමෙන් පසුය.

අවසානයේ එහි සැකයක් නැති බව අධිකරණය තීරණය කළ අතර ස්වාභාවික මරණයක් ලෙස එය තින්දු වූයේ අධිකරණ වෛද්‍ය වාර්තා අනුවයි. පොලිසිය ඒ නිසා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළේ නැත.
මේ අතර සෝමවංශ අමරසිංහ මහතාගේ එකම පුතුද ඊයේ එංගලන්තයේ සිට දේහය බලන්නට පැමිණියේය.

මේ වන විට සෝමවංශ මහතාගේ සොයුරියකගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ දේහය තැන්පත් කර ඇත.
තම අවසන් කටයුතු ඉතාම චාම් ලෙස පවත්වන්නැයි ඔහු කළ ඉල්ලීම අනුව හෙට (18 වැනිදා) සවස 5.00 ට බොරැල්ල කනත්තේදී ඔහු පැතූ අයුරින් එය සිදු කෙරේ.