හොරාට පෙර කෙහෙල්කැන වැට පැන්න
ආගමන විගමන නිලධාරීන්
සීසීටීවී හයිකරනවාට විරුද්ධවූ කතාව



කටුනායක ගුවන්තොටුපළේ පර්යන්ත ගොඩනැගිලිවල නව සී.සි.ටී.වී. පද්ධතියක් සවි කිරීමට විරෝධය පළ කරමින් ආගමන විගමන නිලධාරීහු ඊයේ (28) පැයක කාලයක් ගුවන් මගී නිශ්කාෂණ කටයුතුවලින් ඉවත්වූ බව වාර්තා වුණා.
පෙරවරු 11.45 සිට දහවල් 12.45 දක්වා ක‍්‍රියාත්මක වූ මෙම විරෝධතාව හේතුවෙන් ශ‍්‍රී ලංකන් ගුවන් යානා හතරක් ඇතුළු ගුවන් ගමන් අටක් ගොඩබෑමේ කටයුතු මිනිත්තු පහළවකින් පමණ ප‍්‍රමාදවී තිබුණා.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත සමස්ත ගුවන්තොටුපළම ආවරණය වන පරිදි නව සී.සී.ටී.වී. පද්ධතියක් සවි කරන්නට යාමේදී
මෙම විරෝධතාව පැනනැගී තිබේ.
මේතාක් පවතින පද්ධතියේ ආවරණය නොවන තැන්  ඕනෑතරම් තිබියදී විගමන අංශයේ පමණක් සී.සී.ටී.වී. පද්ධති සකස් කිරීම ගැටලූ සහගත බව කියමින් මෙම විොර්ධතාව පළකළ බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වයි.ඒ.එස්.ඞී. යාපා මහතා ප‍්‍රකාශ කර ඇත. පසුව මෙම තීරණය වෙනස්කිරීම ගැන සලකා බලන බවට පොරොන්දුවක් දීමෙන් මෙම වර්ජනය අවසන් විය.
මෙම සිද්ධිය ‘හොරාට පෙර කෙහෙල්කැන වැට පැන්න’ කතාවට උපමා කරමින් මේ වනවිට විවේචන පළවී තිබේ. රටට හොර ජාවාරම්කරුවන් අනවශ්‍ය දෑ රැගෙන එන මර්මස්ථානයක්වූ ගුවන් තොටුපළට ආරක්ෂාව සපයද්දී විරෝධය පළකරන්නේ එම ජාවාරම්වල කොටස් කරුවන් මිස වෙන අය නොවන බව එම විවේචනයෙන් පෙන්වා දෙයි.
වාර්තා වන ආකාරයට දැනට පවතින ගුවන් තොටුපළ සීසීටීවී පද්ධති දෙක නිසි පරිදි අධීක්ෂණය කිරීමට බාධාවන් පවතී.
නව පද්ධතිය සවි කිරීමෙන් පසු සියලූ පද්ධති එක් තැනකට ගොනු කර විශේෂ ඒකකයක් ලෙස සකස් කරන අතර එය අධීක්ෂණයට වෙනම කණ්ඩායමක් යොදවන්නටද අපේක්ෂා කර තිබුණි.
කෙසේ වෙතත් ඊයේ විරෝධතාව නිසා සී.සී.ටී.වී. පද්ධතිය සකස් කිරීම තාවකාලිකව අත්හිටුවා ආරක්ෂක ලේකම් වරයාගේ ප‍්‍රධානත්වයෙන් සියලූ පාර්ශ්ව කැඳවා සාකච්ඡා කිරීමෙන් පසු තීරණයක් ගැනීම පසුවට කල් තබා ඇත.
මේ ආකාරයට ප‍්‍රගතිශීලී දෙයක් ක‍්‍රියාවට නැංවීමට ඇතිවුණ බාධාව ගැන ආගමන විගමන පාලක ජෙනරාල් රණසිංහගෙන් පුවත්පත් කළ විමසීමේදී ඔහු කියා ඇත්තේ එතැන වර්ජනයක් සිදුනොවූ බවයි.
ආගමන විගමන නිලධාරීන්ගේ කොටසේ දැනුම්දීමකින් තොරව අලූත්වැඩියා කිරීමක් ඊයේ උදේ සිදුකිරීමට සූදානම් වීම නිසා ඒ ගැන සාකච්ඡාවක් ඇතිවූවා මිස එහි කැමරා සවිකිරීමකට එරෙහිව කිසිදු විරෝධතාවක් ඇති නොවූ බව ඔහු කියා ඇත.