මහින්දගෙ රැස්වීමට ආව දයාසිරිට
ජනතාව හූ කියා එළවාගනී


කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පඬුවස්නුවර, පෙන්ගොඩගෙදර විහාරස්ථානයේදී පෙරේදා (26) පැවැති ආගමික උත්සවයක වේදිකාවට අමාත්‍ය දයාසිරි ජයසේකර ගොඩවැදීම නිසා සභාවේ සිටි ජනතාවගේ හූ සංග‍්‍රහයක් අත්විඳීමට අමාත්‍ය දයාසිරිට සිදුවිය.
විහාරස්ථානයේ බෝධි ප‍්‍රාකාරය නිරාවරණය කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සාලින්ද දිසානායක මන්ත‍්‍රීවරුන්ද මෙම සභාවේ අසුන්ගෙන සිටි අතර උත්සවයේ වැඩකටයුතු අතර මහින්ද වේදිකාවට නැගීමට සූදානම් වෙත්ම,
වේදිකාවේ අනෙක් පසින් වූ පඩිපෙළ අසලට අමාත්‍ය දයාසිරි පැමිණි ආකාරය දිස්ව තිබුණි. ඔහු ගාණක් නැතිව ජොන්ස්ටන් අසළ වාඩිගත්තේය. මේ අතරතුර උත්සවයට පැමිණ සිටි පිරිස අතර කසු කුසුවක් පැතිරිණි.
උත්සව සභාව ආරම්භ කරමින් විහාරාධිපති හිමියන්,
අද දිනය තම ජීවිතයේ ඉතාමත් සතුටු දිනයක් බවත්, බෝධි ප‍්‍රාකාරය

ඉදි කිරීමේ කටයුතු සඳහා දායක සභාවේ බොහෝ දෙනකු උදව් උපකාර කළා සේම, කකුලෙන් ඇදීමට දෙතුන් දෙනකු සිටි බවද මතක් කළා.
එම ප‍්‍රකාශයත් සමග උත්සවයට පැමිණ සිටි අයෙකු ඔය වේදිකාව උඩත් ඉන්නේ යනුවෙන් කියා සිටි අතර ඒ සමග පිරිස දයාසිරි ජයසේකර මහතාට හූ හඬ නගන්නට විය.
මහින්ද සිය අසුනින් නැගී සිට පිරිස සන්සුන් කිරීමට මහත් උත්සාහයක් දැරුවේය.
මේ අවස්ථාවේ දයාසිරි අසුනින් නැගිට මහින්ද රාජපක්ෂ අසලට ගොස්
අසුන් ගත් අතර ඇතැමෙකු ‘ළඟට ගන්න එපා’ යනුවෙන් කෑගසා ඇත.
ස්වාමීන් වහන්සේගේ කතාව අවසන් වනවාත් සමග දයාසිරි සිය අසුනින් නැගී පිටව යාම සඳහා උත්සාහ කළ අතර ඒ සමග පිරිස යළි හූ කියා ඇත.
අමාත්‍ය දයාසිරි වේදිකාවෙන් බැස පිටව යද්දී ද පිරිස තැනින් තැන හූ කියා තිබූ අතර පැමිණ සිටි තරුණයෙක්, උත්සව භූමියේ වටකර තිබූ යකඩ බට ආවරණයක පිටත සිට දයාසිරි අමාත්‍යවරයාට ඇසෙන සේ ‘කොන්ද කෙළින්ද’ යැයි අසා තිබේ.
දයාසිරි එතැනට ගොස් ‘මොකක්ද යකෝ කිව්වේ’ යැයි තරුණයාගෙන් අසමින් වාදයකට පැටලෙන්නට උත්සාහ කර ඇති අතර එම අවස්තාවේ තවත් තරුණයන් පිරිසක්ද එම තරුණයාගේ සහයට ඇවිත් දයාසිරිගෙන් එම ප‍්‍රශ්නයම විමසා ඇත.
ආරවුල දුරදිග යන්නට ඉඩ නොදී වහා පැමිණි ඇමැති ආරක්ෂකයන් අමාත්‍යවරයා වහා ජිප් රථයට නංවාගෙන ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.